රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා ඩලස් අගහප්පෙරුම, සජිත් ප්‍රේමදාස සහ මෛත්‍රිපාල සිරිසේන යන පාර්ශවයන් පූර්ණ එකඟත්වය පළකර සිටී.
ඊයේ (05) සවස්වන විට මෙම පාර්ශව තුනම රනිල් වික්‍රමසිංහ යටතේ පිහිටුවන ආණ්ඩුවේ කොටස්කරුවන් වීමට එකඟ වී තිබේ. එම පාර්ශව තුනට අයත් මන්ත්‍රීවරුන් කව දුරටත් කැඩීයාම වැළැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහට මේ ලෙස අවනත වී ඇත. රනිල් වික්‍රමසිංහ රට හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ 22 දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව, අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව සහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව පමණක් ය. මේ හැර රටත් ජනතාවත් මුහණ දී සිටින බිහිසුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමේ කිසිදු සැලැස්මක් ඉදිරිපත් කර නැත.
රටේ ජනතාවගේ බලවත් විරෝධය එල්ල වී තිබෙන මහජන ධනය කොල්ල කෑ අපරාධකාරයින් තවදුරටත් ආරක්ෂාවීම සඳහා මෙම සියලු කණ්ඩායම් එකතු වෙමින් සිටින බව දේශපාලන විශ්ලේශකයන් මේ අතර පෙන්වා දී ඇත. සජිත් පිළේ සිටි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මේ වනවිටත් රනිල්ට එකතු වී ඇති අතර හර්ෂද සිල්වා ඇතුළු තවත් හත් දෙනෙකුට වැඩි පිරිසක් එකතුවීමට සිටින බවට තොරතුරු හෙළිවී තිබේ. මෛත්‍රිපාල සිරිසේනගේ පිළෙන් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර මේ වනවිටත් ආණ්ඩුවට එකතු වී ඇති අතර තවත් ගණනාවක් එකතුවීමට නියමිතව සිටිති. ඩලස් අගහප්පෙරුමගේ පිලේ සිටින විමල් වීරවංශ ඇතුළු පිරිස හදිසි නීතිය පැනවීමේ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහට පක්ෂව ඡන්දය දෙනු ලැබීය.