වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ‘විනිවිද පෙරමුණේ’ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.
ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූහ.
වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය ප්‍රකාශ කළහ.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ‘විනිවිද පෙරමුණේ’ මහ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව මහ මැතිවරණයකට තරග කර පරාජයට පත්වූ පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ නොහැකි බවත්, එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමේ තීරණය හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවත් ය.
මෙම පෙත්සම ඊයේ 18 අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා කියා සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බවය .