පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් එම පක්ෂයේ කැමැත්ත රනිල් වික්‍රමසිංහට ලබා දෙන බවට තීන්දු කර ඇතැයි සිදු කළ ප්‍රකාශය සාවද්‍ය බවත් පක්ෂය එවැනි සම්මුතියකට එළඹ නැතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරමින් කියා ඇත්තේ තරඟයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්තීන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඒවා ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව පක්ෂයේ බහුතරයට යටත්ව කවර අපේක්ෂකයාට ඡන්දය දීම තීරණය කළ යුතු බවය.
ඔහු මෙසේද කීය – සාගර කාරියවසම් එදා කරපු දේමයි අදත් කරන්නෙ. මා ඔහුට පැහැදිලිව කියනවා මේ වගේ බොළඳ මේ වගේ මෝඩ තීන්දු පක්ෂයේ තීරණය කියල ජනතාවට කියන්න එපා කියල. ඔබේ පුද්ගලික මතයක් තිබේ නම් එය පක්ෂයේ මතය හැටියට සමාජගත කරන්න එපා. එහෙම වුනොත් ලේකම් තනතුර ගැන අපට තීන්දුවක් ගන්න වෙනවා. අද රට මෙච්චර වැටිල තිබෙද්දි ඒ වගේ ඔලොමොට්ටල වැඩ කරන්න එපා කියලත් අපි ලේකම්වරයාට කියනවා.
හැට නව ලක්ෂයක් ඡන්දගත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් පලවා හැරියා. මේක නායකයන් සියලු අය තේරුම් ගත යුතුය. මේ ජනතාව කොළඹට ආවේ ජනතා විමුක්ති පෙරමුණ කියපු හන්දවත් පෙරටුගාමීන් කියපු හන්දවත් නොවෙයි. ජනතාව ඉන්නෙ පීඩනයකින්. ඒ පීඩනය දරා ගන්න බැරි හන්ද තමයි ජනතාව ජනපති මන්දිරයට කඩා වැදුනේ. මේ නිසා ජනතාව නැවත කොළඹට නොඑන වැඩපිළිවෙළකට අප යන්න ඕන යැයිද ඔහු පවසා සිටී.
මේ අතර පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී.එල්.පීරිස්ද පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින් රනිිිල් වික්‍රමසිංහ වෙත සහයෝගය දැක්වීමට පක්ෂය තීන්දුවක් ගත්තේ කවදාද ඒ කවර ස්ථානයකදීද යන්න ප්‍රශ්ණ කර තිබේ.
මෙම ප්‍රශ්ණ කිරීම් තුල නව ජනපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ පැහැදිලි බෙදීමක් පවතින බව අනාවරණය වෙි. එහිදී ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය අපගේ අවධානයට ලක්වේ. ඔහු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් වෙත අනතුරු ඇඟවීමක් කර ඇත. ඉන් අපට නිශ්චය කළ හැක්කේ පොදු ජන පෙරමුණේ වැඩි බලය රනිල් වික්‍රමසිංහට එරෙහිව පවතින බවය.