ජාතික ජන බලවේගය විසින් ආණ්ඩුව පන්නමු පාරට බහිමු යන්න තේමාව කර ගනිමින් පසුගිය දින කිහිපය තුළදී ප්‍රදේශ කිහිපයකදී පැවැත්වූ මහජන විරෝධතා වලට විශාල ජන සහභාගිත්වයක් දකින්නට තිබුණි.
එම විරෝධතාවලදී ජනතාව ඇමතූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පල කළ අදහසක් ගැන අපගේ විශේෂ අවධානය යොමු විය.ඔහු එම විරෝධතා පෙලපාලි අවසානයේ පැවැති රැස්වීම් වලදී සිදු කළ ප්‍රකාශය මෙසේය.
“..අපේ තරුණ පරම්පරාව දේශපාලනය කෙරුවේ නෑ.මේ රටේ දේශපාලනය කෙරුවේ වැඩිහිටියන්. ඒ වැඩිහිටියන් ගත් වැරදි තීන්දු තීරණ නිසා තමයි රටට මේ තත්වය උදාවුනේ. නමුත් දැන් තරුන පරම්පරාව දේශපාලනය අතට ගත යුතුයි. අප මේ තරුණ තරුණියන්ට ආරාධනා කරනවා අපත් එක්ක දේශපාලනය කරන්න එන්න. අපි එකම මහජන ව්‍යාපාරයක් හදමු. සියලු බෙදීම් අමතක කරලා එක ගමනක් යමු. අපි දිනයක් කියන්නම් එදාට මුළු රටම එකට පාරට බහිමු….”
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගේ මේ විවෘත ආරාධනය අප ඉතා ඉහළින් අගය කරමු. නමුත් මෙම ආරාධනය ප්‍රායෝගික තලයේ සාර්ථක කර ගැනීමට සැලසුමක් තිබිය යුතුය. අප එසේ කියන්නේ මෙරට ග්‍රාම සේවා වසම් බොහොමයක දීර්ඝ කාලීනව දේශපාලනයේ නිරත ජවිපෙ දේශපාලන කාඩරයන් මෙම ආරාධනය කවර ආකාරයෙන් දිරවා ගන්නේද යන්න ගැන අපට සැකයක් පවතින බැවිනි.
මෙම ජවිපෙ ක්‍රියාධරයන් සිය දේශපාලනික න්‍යාය ඒටු ඉසෙඩ් ක්‍රියාත්මක කරන්නට ප්‍රයත්න දරන පොතේ ගුරුන් බව අපට අත් දැකීම් තිබේ. කිසිවෙකුට ඔවුන් ප්‍රශ්ණ කරන්නට බැරිය. සියලු දේ වල විනිශ්චකරුවන් වන්නේ ඔවුන්ය. එහෙත් සම්ප්‍රදායික පක්ෂ දේශපාලනයේ නිරත වූවන්ගේ ක්‍රියාකාරිත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. මෙන්න මේ වෙනස ජාතික ජන බලවේගය දරා ගන්නේ කෙසේද යන්න තුළ අනුර කුමාර දිසානායකගේ ආරාධනය සාර්ථක වනු ඇත.
මෙහිදී මෙරට ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ වල ක්‍රියා ධරයන් රාශියක් ජාතික ජන බලවේගය හා සම්බන්ධව දේශපාලනය කිරීමේ කැමැත්තක් ඇති බව අපි දනිමු. එහෙත් ජවිපෙ කන්‍යා භාවය තුල තමන් ප්‍රශ්ණ කිරීමකට ලක් කරනු ඇතැයිද තව දුරටත් ඒ තුළ තමන් ප්‍රතික්ශේප වනු ඇතැයි ඔවුන් තුළ සැකයක් පවතී.
මාක්ස්වාදීී දේශපාලනය තුළ ස්වයං විවේචනයට ඉඩ පවතී. වැරදි කළ පැටිකිරිය නිවැරිදි කර ගැනීමේ අයිතිය ඒ තුළ තිබේ. එය එසේ වන්නේ නම් වෙනත් දේශපාලන ක්‍රියාධරයෙකුට ජවිපෙ දේශපාලනයට ඇතුළු වීම දොරටු විවර විය යුතුය.
මෙතෙක් කල් ජවිපෙ දේශපාලනය සිදු වූයේ මිල්ටෙරි ආකෘතියකට බව අපට හැඟී යයි. තරුණ ජවය තුළ පවතින වේගයත් සමග ජවිපේ දේශපාලනයට සම්බන්ධවන තරුණයන් මැදිවිය දක්වා ක්‍රියාකාරිකයන් ලෙස කැප වීමෙන් කටයුතු කරන බව පෙනී යයි. එහෙත් මැදි විය ඉක්මවා යාමත් සමග ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුනී වෙයි. හමුදාවට බඳවා ගැනෙන තරුණයන් මැදිවියේ ආරම්භයත් සමග විශ්‍රාම යැවේ. හමුදාව හැමදාම තරුණය කියන්නේ ඒ නිසාය. ජවිපෙ දේශපාලනයද හැමදාම තරුණය. සැබවින්ම ජවිපෙ මේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේය. එහිදී පක්ෂ පූර්ණ කාලිකයන් පක්ෂ අභ්‍යන්තරික නීතිමය හැඩයට පෙල ගස්වා ගත්තාට වරදක් නැත.
කෙසේවෙතත් මේ හෝරාවේදී ජනතාව ඉල්ලන්නේ රාජපක්ෂවරු පන්නා දමා රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගන්නා ලෙසය. මේ පොදු ජන ඉල්ලීම ජවිපෙ දේශපාලනමය කන්‍යාභාවය තුළ තබා අරගල කිරීම තවදුරටත් රාජපක්ෂ සනුහරයට බලය ආරක්ෂා කර ගැනීමට සහයෝගය දැක්වීමක් වන බව නිසැකය. අද රට තුළ ඇවිලී තිබෙන ජනතා අපේක්ෂාව ඉටු කිරීම සඳහා සටනට ප්‍රවේශවන සියළු දේශපාලන මතධාරීන් හා කොන්දේසි විරහිතව ජාතික ජන බල වේගය පොදු එකඟතාවකට ආ යුතු යැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු.
අපි මෙම චෞර රාජපක්ෂ සනුහරය එලවීමට එක් වෙමු. ඉන්පසු යලි වෙන්ව දේශපාලනය කරමු. අනුර කුමාර දිසානායකගේ ආරාධනාව මල් පල ගන්නේ මෙය තේරුම් ගන්නේ නම් පමනි.